අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Tuesday, October 18, 2011

කොරතොට ආරච්චිවරුන්ගේ ප්‍රධාන වූ මහන්තාරච්චි පරම්පරාව

කොරතොට අංගම් මඩුව
මේ දිනවල කොරතොට ආරච්චි පරම්පරාවේ නාමය අප විසින් එනම් මහන්තාරච්චි නම් වාසගම් ඇති අප ගුරුතුමන් විසින් භාවිතා කිරීමට එනම් නිල බලයකින් තොරව අපේම කර ගැනීමට උත්සාහ කරන්නේ යයි ඇතැම් පිරිස් අන්තර්ජාලය හරහා චෝදනා කරන බැවි එයට පිළිතුරක් ලෙස මෙම ලිපිය ලිවීමට අදහස් ‍කලෙමු.

මෙහිදී රාජාවලියේ ඇති "කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ."  යන රාජාවලියේ ඇති සටහන ගැන සඳහන් කළ යුතු ම වේ. මන්ද මෙහිදී සඳහන් වන්නේ "කොරතොට ආරච්චි" ලෙස නොව "කොරතොට ආරච්චිවරුන්" ලෙසට ය. එයට හේතුව කොරතොට ආරච්චි යනුවෙන් ඉතිහාසයයේ දී හැඳින්වූයේ එක් පරම්පරාවක් පමණක් නොවේ. පරම්පරා කිහිපයකි. එනම් කොරතොට සිටි ආරච්චිවරුන් යන්න කොරතොට ආරච්චිවරුන් යන්නෙන් අදහස් වේ. එනිසාම කොරතොට ආරච්චි නමින් වාසගම් පැමිණියේ නැත. පරම්පරා සමූහයක් වූ කොරතොට ආරච්චිවන්ගේ ප්‍රධානියා එනම් මුල් තැන ගත්තේ මහන්තාරච්චි පරම්පරාව යන්නට සාක්ෂි කෞතුකාගාරයේ ඇති ඔරුවල සන්නස, කොරතොට දේවාල සන්නස ආදියේ ඕනෑතරම් විස්තර තිබේ. මෙයට අමතරව අප පරම්පරාවට උරුම වූ සන්නස්, පුස්කොල පොත් හා ආයුධවල කොටා ඇති සටහන් ආදියේ ඇති තොරතුරුවලින් ඒ බව මොනවට ඔප්පු කළ හැකි ය. 
ශාස්ත්‍රීය නමස්කාරයක යෙදෙන
අජන්ත මහන්තාරච්චි ගුරුතුමන්
ඇතුළු ප්‍රවීණ සටන් ශිල්පීන්
කිහිප දෙනෙක්.

කෙසේවෙතත් මේ අවස්ථාවේ ඉන් එක් පුස්කොල ග්‍රන්ථයක් වන පත්තිරු 60කින් යුත් "කොරතොට වත" නම් පුස්කොල ග්‍රන්ථයේ 21 වෙනි පත්තිරුව තුළ ඇති පහත සඳහන මෙහිදී කාගේත් අවධානය උදෙසා දක්වමු.

"පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද...."

මෙයින් සමාජය දැන ගත යුතු වන්නේ මහන්තාරච්චි පරම්පරාව යනු එදා කොරතොට ආරච්චිවරුන්ගේ මුල් තැන ගත් පරම්පරාව වූ අතර අදටද මෙහි සඳහන් අනෙක් පරම්පරාද කිහිපයක් කොරතොට හා ‍ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බවයි. අප සතුව තිබෙන සියලුම තොරතුරු එනම් පාරම්පරික සාක්ෂි අප මාධ්‍යයට දීමට සූදානම් නැත. යම් අයෙකුට විශේෂයෙන් අවශ්‍ය නම් අප හමුවීමට පැමිණ ඒවා දැන කියා ගත හැකි ය. එසේම අප සම්ප්‍රදායට චෝදනා එල්ල කරන පිරිස ගැන අපට ඇත්තේ සානුකම්පිත හැඟිමක් පමණක් බවත් ඔවුන්ගේ තර්ක විතර්ග හමුවේ අප නොසැලෙන බවත් ඉතාමත්ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටුමු.

No comments:

Post a Comment