අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

Friday, January 17, 2014

අජන්ත මහන්තආරච්චි හොඳ කරාතේ සටන් ශිල්පියෙක් කියල ඇතැමුන් කියනවා?

මෙරට තුළ අංගම්පොර සටන් ශිල්පය උගන්වන ගුරුවරු ගණනාවක් සිටිති.ඔවුන් අතර එම ශිල්පය උගන්වන ක්‍රමවේද පිළිබඳ මත ගැටුම් පවතී. අංගම්පොර යයි කියා චීන අඩි උගන්වන බවට ඔවුන් චෝදනා කර ගනී. ගුස්ති පිටුවේ සංවාදයට මීට පෙරද මෙරට අංගම්පොර සටන් ශිල්පය උගන්වන ගුරුවරුන් කිහිපදෙනෙක් සම්බන්ධ විය. ඉදිරියටත් මෙරට සිටින අංගම්පොර සටන් ශිල්ප උගන්වන ගුරුවරුන්ට මේ සංවාදයට සහභාගි විය හැකිය. මෙවර සංවාදයට සහභාගි වනුයේ කොරතොටආරච්චි සටන් පරම්පරාවේ වර්තමාන පුරුක වන අජන්ත මහන්තආරච්චි සටන් ගුරුවරයායි.


* ඔබ අංගම් පරපුරක කාගේ කවුද?

මගේ සටන් පරම්පරාව කොරතොට ආරච්චිවරුන්ගේ සටන් පරපුර කියලයි මගේ ගුරුන්නාන්සේලා කියන්නෙ. මීට අවුරුදු පන්සීයකට ඉහත ලියා තිබෙන ඉතිහාස ග්‍රන්ථයන්හි මගේ සටන් පරපුර පිළිබඳව සදහන් වෙනවා. එය නිවැරදි බව මමත් විවිධ සොයා බැලීම්වලින් තහවුරු කරගෙන තිබෙනවා. මට එය ඔප්පු කළ හැකියි.

මම ජීවත්වන කොරතොට ගම්මානයේ තිබෙන සෙල්ලිපි, සීතාවක රාජසිංහ රජු දීපු සන්නස් , උන්නාන්සේ යුද්ධයට පාවිච්චි කරපු කඩුව මගේ පරපුරේ අංගම් උරුමය පිළිබඳ සාක්ෂියි. එදා මුල්ලේරියා යුද්ධයට සම්බන්ධ වන්නේ අපේ පරම්පරාවයි.

කොරතොට ආරච්චිවරු දහඅට දෙනෙක් අපේ පරම්පරාවේ සිටිය. ඔවුන් රණවකආරච්චි, පලිහේනආරච්චි, මහන්තආරච්චි, හටන්ආරච්චි , මල්ලව ආරච්චි වැනි අයයි. කොරතොට රජමහා විහාර වටේ තිබුණ වලව් දහ අටක තමයි ඔවුන් ජීවත් වුණේ. එම පරම්පරාවල ගුරුන්නාන්සේලාගෙන් මම අංගම් සටන් ඉගෙන ගෙන තිබෙනවා.

* කවුද ඒ ගුරුන්නාන්සේලා ?

මල්ලවආරච්චි ගුරුන්නාන්සෙ, රණවකආරච්චි පරපුරේ ගුරුවරයෙකුගෙන්ද මම ඉගෙන ගත්ත. පලිහේනආරච්චි පරම්පාවේ දයාරත්න ගුරුන්නාන්සේ ගෙන්ද අංගම් ශිල්පය හැදෑරුවා. ඔහු තවමත් ඉන්නවා. මට කොරතොට ආරච්චි පරම්පරාවේ ගුරුවරුන් හත් දෙනෙක් සිටිනවා.

ඊට අමතරව වෙල්ලස්සේ සිටිය පුංචි බණ්ඩා ගුරුන්නාන්සේ ද මට අංගම් ශිල්පය ඉගැන්වූවා. ඔහු ළඟ තිබුණ අංගම් ශාස්ත්‍රය පිළිබඳ පුස්කොළ පොත් දෙකකුත් මට දුන්නා. මේ රටේ තිබුණ පැ‍රැණිම සටන් ශාස්ත්‍රයක්ද මට මහියංගන ප්‍රදේශයේ සිට සුභද්‍රා මෙ‍හෙණින් වහන්සේගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඇගේ වයස මේ වන විට අසූ ගණනක් වෙනවා. ඒ සටන් ක්‍රමයට කියන්නෙ රීරි කොලස කියායි.

* මොකක්ද මේ රීරි කොලස?

මේ සටන් ක්‍රමය අංගම් ශාස්ත්‍රයේ මුල් අවධියේ තිබූ එකක්. මේ සටන් ක්‍රමයේ මරු නිල විද්‍යාව පිළිබඳ ඉතාමත්ම ගැඹුරට උගන්වනවා. සුභද්‍රා මෙ‍හෙණින් වහන්සේ මට කියල තිබෙන්නෙ තම පරපුර යක්ෂ ගෝත්‍රයට අයිති බවයි. මේ සටන් ක්‍රමය එදා සිටිය යක්ෂ ගෝත්‍රිකයින්ගේ සටන් ක්‍රමයක්. මේවා ගැන පැ‍රැණි පුස්කොළ පොත්වල තිබෙනවා. මම මේ සටන් ශාස්ත්‍රය ඉතා ගැඹුරට හැදෑරුවා. මේ මරාන්තික මරු නිල ශාස්ත්‍රය මේ රටේ දන්නෙ එතුමියත් මමත් පමණක් බවයි මගේ විශ්වාසය. රීරි කොලස සටන් ශාස්ත්‍රය ඇය වෙනත් කිසිවෙකුට නැවත උගන්වන්නෙ නැහැ. ඇය මට ඉගැන්වූවා. මටත් අවසර තිබෙන්නේ තවත් එක් අයෙකුට උගන්වන්න පමණයි. මට තවම එය ඉගැන්වීම සඳහා සුදුසු ගැහැනු හෝ පිරිමි සටන් ශිල්පියෙකු හමුවී නැහැ.

* ඔබ නියම අංගම් පොර ශාස්ත්‍රය දන්නවද කියල කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්න කළොත්?

මට අංගම් ශාස්ත්‍රය කියල වෙනත් සටන් ශිල්ප උගන්වන්න හදපු අය සිටියා. බොහෝ අය අංගම් උගන්වනවා කියල කරන්නෙ බොරුවක්. මම ගවේශකයෙක්. මා මගෙ පරම්පරාවෙන් පමණක් ශිල්ප ඉගෙනගෙන නතර වූ කෙනෙකු නොවේ. මගෙ ගුරුන්නාන්සේලා අවසානයේදී අංගම් සටන් ශාස්ත්‍රය පිළිබඳ සඳහන් වටිනා පුස්කොළ පොත් මට ලබා දුන්නා. ඒවා කියවීමේදී මට වැටහුනා මා හදාරා තිබෙන්නෙ නියම අංගම් කියල. මම සෑම විටම උත්සාහ කරන්නෙ මේ රටේ අතීත මුතුන් මිත්තන් ළඟ තිබූ පැ‍රැණි අංගම් සටන් ශාස්ත්‍රය මතු කර ගන්නයි.

* ඒ කියන්නෙ ඔබ උගන්වන්නෙ මේ රටේ තිබුණ පැ‍රැණි ශුද්ධ අංගම් ද?

ඔව්. අජන්ත මහන්තආරච්චි උගන්වන්නෙ මේ රටේ තිබූ අති පැ‍රැණි ශුද්ධ අංගම් ශාස්ත්‍රය කියල විශ්වාසයි.

* බොහෝ අය අංගම් පොර සටන් කියා වෙනත් සටන් ක්‍රම උගන්වනවා කියල සමාජයේ චෝදනා තිබෙනවා නේද?

අංගම් පොර දන්නවා කියල බොහෝ අය කරන්නෙ රඟපෑමක්. ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒක දන්නවා. ඔවුන් පට්ටපල් බොරුකාරයෝ.

* ඔබට අභියෝග කලොත් ශුද්ධ අංගම් පෙන්වන්න කියල?

ඌරා ළිඳේ සටනකට එන්න කියා මම වරක් අභියෝගයක් කළා. තවමත් කවුරුත් ආවෙ නැහැ. මම සුදුසු ස්ථානයක මගේ පරපුරේ අංගම් ශාස්ත්‍රය පෙන්වන්න සූදානම්. තුන් වරක් මම ඉන්දියාවේ කේරළ ප්‍රදේශයට ගොස් එහි තිබෙන කලරි මඩුවලදී එම සටන් ශිල්පීන් පරදවා ලංකාවේ නියම අංගම් ශාස්ත්‍රය තිබෙන බව ඔප්පු කළ පුද්ගලයෙක්. 2001,2002,2007 වසරවලදීයි මා ඉන්දියාවට ගියේ. එම කලරි මඩුවල සටන් කිරීම හරිම දුෂ්කර වුණා. මොකද ඒ මඩුවල බිමට තල තෙල් සහ වී දාල එම සටන් ශිල්පීන් තල තෙල් ගාගෙන සටනට පැමිණියා. වරක් තායිලන්තයේදී වීදි සටන්කරුවෙකු සමඟත් සටන් කරල ඔහුව පරාජය කළා.

* ඔබ හොඳ කරාතේ සටන් ශිල්පියෙක් කියල ඇතැමුන් කියනවා?

මම එසේ ප්‍රකාශ කිරීම පිළිබඳ සංතෝෂ වෙනවා. හැබැයි මම මුලින්ම අංගම් සටන් ශාස්ත්‍රයයි ඉගෙන ගත්තෙ. එතකොට මට අවුරුදු හයයි. මහසෙන් උන්නාන්සේට කුජ දවසකදී පූජාව තියල තමයි ඉගෙනීම ආරම්භ කළේ. මට කුඩා කාලයේම සිටම සටන් ශිල්ප හැදෑරීමට පුදුම ආශාවක් තිබුණ. පාසැල් කාලයේදී මුලින්ම ඉගෙන ගත්තෙ කරාතේ. එම සටන් ශිල්පයෙන් මම විවිධ ශූරතා දිනාගෙන තිබෙනවා. මම කළු පටි ශ්‍රේණියත් ලබා තිබෙනවා. මගේ කරාතේ ගුරුවරයා අනුර කත්‍රිආරච්චි මහතායි. එතුමා බොහොම දක්ෂ කරාතේ ශිල්පියෙක්.

* ඔබ තවත් සටන් ක්‍රම හදාරා තිබෙනවද?

මම වූෂු, මල්ලවපොර, බොක්ෂින්ද ඉගෙනගෙන තිබෙනවා. භාවනා ක්‍රම ඉගෙනීමට ටිබෙටයට ගිය වෙලාවේදී සියාට් සටන් ක්‍රමය හැදෑරුවා. එය ලාමාවරුන් අතර තිබූ ඉතා රහසිගත සටන් ක්‍රමයක්. මම මෙය වැඩිදුර හැදෑරුවේ නැහැ. මේ සියාට් සටන් ක්‍රමයේදී කුඩා කෝටු කැබැල්ලක් භාවිත කරනවා. මෙම සටන් ක්‍රමයේ නිල විද්‍යාවකුත් තිබෙන අතර එම නිල ස්ථානයන්ට පහරදී සතුරන් අඩපණ කළ හැකියි. ලාමාවරුන් ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා යොදා ගන්නවා. මේ සටන් ක්‍රමයේදී මිනිසුන් මරණයට පත් කිරීම තහනම්. අංගම්වලදීත් මෙවැනි ආයුධ භාවිත කරනවා. මේ සටන් ක්‍රමය කාන්තාවන්ට ඉතා සුදුසුයි කියා මා සිතනවා.

* භාවනා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නෙ කුමක්ද?

ඕනෑම සටන් ශිල්පියෙක් තමන්ගේ අධ්‍යාත්මය දියුණු කර ගන්න ඕනෙ. සටන් ශිල්පියෙකු කියන්නේ හන්දියක බැහැල ගහගන්න චන්ඩියෙකු නොවේ. අංගම් ශාස්ත්‍රයේත් විවිධ භාවනා ක්‍රම තිබෙනවා. මම ටිබෙටයට ගියේ ලෝකයේ තිබෙන තවත් භාවනා ක්‍රම පිළිබඳ සොයා බැලීමටයි. හිමාලයට යන්න මට ආසාවක් තිබුණත් එය ඉෂ්ට කර ගන්න බැරි වුණා. මා මේවන විට නීල ස්වස්ථි දැහැන කියන අංගම් ශාස්ත්‍රයේ තිබෙන භාවනාව වඩනවා.

* ලෝකයේ තිබෙන ප්‍රබලම සටන් ශිල්පය අංගම්පොර කියලද ඔබ කියන්නෙ?

අංගම්පොර කියන්නෙ ඉතා දියුණු සටන් ක්‍රමයක්. මේක අද්භූත සටන් ශිල්පයක් වශයෙන්ද හඳුන්වන්න පුළුවන්. මිය ගිය ගුරුවරුන්ගෙනුත් මේක ඉගෙන ගත හැකියි. අංගම්පොර සටන් හදාරන දරුවෙකුගේ ශරීරයට මියගිය සටන් ශිල්පියෙකුගේ ආත්මයක් ගෙන එන්න පුළුවන්. ඒ ගුරුන්නාන්සේලා අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා. ඉහළ ආත්මවල ඉන්න අයගෙන් තොරතුරු ගන්න වෙනමම ක්‍රමයක් තිබෙනවා.

* ඔබේ වයස කීයද?

අවුරුදු විසි අටයි. මම අවුරුදු විසි දෙකකට ආසන්න කාලයක් තිස්සෙ අංගම්පොර ඉගෙන ගන්නවා.

* අපි අහල තිබෙන ආකාරයට අංගම්පොර සටන් ශිල්පීන් ප්‍රධාන වශයෙන් සුදලීය සහ මරුවල්ලිය කියන පරම්පරා දෙකට අයිතියි. හැබැයි ඔබ කොරතොටආරච්චි පරම්පරාවෙ?

ඔය වචන දෙකම වැරදියි. එම පරම්පරා දෙක නිවැරදිව හඳුන්වන්නෙ සුදාලීය සහ මාරුවලිය කියායි. එම පරම්පරා දෙකටත් කොරතොටආරච්චි පරම්පරාව සමහරක් සටන් ක්‍රම උගන්වල තිබෙනවා. සීතාවක රාජසිංහ රජ්ජුරුවො මුල්ලේරියා සටනට ගෝවා පගන්දාර හේවාපන්නය කියන සටන් පෙරමුණ පිහිටෙව්ව. මේක පිහිටුවන්න රජුට උපදෙස් දුන්නෙ අපේ පරම්පරාවේ සටන් ශිල්පීන්. මේ හේවාපන්නයේ සටන් උපක්‍රමය වූයේ පස්ස පොරොත්තුව කොටනවා කියන ක්‍රමවේදයයි. මේක වර්තමානයේ ඇම්බුෂ් ඇටෑක් එකකට සමානයි. ඒක ඉගැනීමට සුදාලීය සහ මාරුවලිය ශිල්පීන් කොරතොටට පැමිණ තිබෙනවා. මේ බව පුස්කොල පොත්වල සඳහන් වී තිබෙනවා.

* අංගම්පොර ආරම්භය ගැන ඔබ දන්නෙ මොනවාද?

රුහුණේ කතරගම ප්‍රදේශයේ කියල අප හිතනවා. මෙය ලෝකයේ හමුවන පැ‍රැණිම සටන් ශාස්ත්‍රය වශයෙන් හඳුන්වන් පුළුවන්. අවුරුදු 33000කට වඩා පැ‍රැණියි. ගෝරා කියන පුස්කොල පොත්වල ඒ බව සඳහන් වෙනවා. යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් තමයි ඒවා ලියල තිබෙන්නෙ. එම භාෂාව මට කියවන්න පුළුවන්. යක්ෂ ගෝත්‍රිකයින්ගේ සටන් ක්‍රම ගණනාවක් පිළිබඳ ඒවායේ සටහන් වන අතර ඒවා මිශ්‍ර වී අංගම්පොර ශාස්ත්‍රය හැදුන බව විශ්වාස කරනවා.

* රාවණා රජු නොවෙයිද මෙහි මූලාරම්භකයා?

නැහැ. එයට පෙරත් මේ සටන් ක්‍රමය පැවතියා.

* මේ රටේ ඉන්න ප්‍රබල අංගම් සටන් ශිල්පියො කවුද?

මට කාගෙවත් නමක් සඳහන් කරන්න බැහැ. අංගම් හොරු තමයි වැඩිපුරම ඉන්නෙ. නියම අංගම්පොර දන්න වයසක ගුරුන්නාන්සේලා කීප දෙනෙක් . පොලොන්නරුව, මහියංගනය, මී මුරේ ඉන්නවා. මොවුන් අංගම් ශිල්පීන් බව හඳුනාගන්නටත් අමාරුයි. අප නොදන්නා අප්‍රකට ගුරුන්නාන්සේලා තවත් ඇති.

* අංගම්පොර සටන් ශිල්පය බොහෝ දෙනෙක් උගන්වනවා නේද?

අංගම්පොර කියලා සියයට අසූවක් උගන්වන්නෙ චීන අඩි. මීට අමතරව ඉන්දියානු සටන් ක්‍රමත් අපේ සටන් ක්‍රම කියලා උගන්වන පිරිසකුත් ඉන්නවා. අංගම්පොර කියල චීන අඩි උගන්වන එක නම් වැරදියි.

* ඔබ ප්‍රබලම අංගම්පොර සටන් කරුවෙක්ද?

මම ප්‍රබල අංගම්පොර සටන් කරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රබලම කියන වචනයේ ‘ම ‘ යන්න කපන්න.

* අංගම්පොරවල පරතෙරට යන්න කොපමන කාලයක් ගත වෙයිද?

පරතෙරට යන්නටයි මම උත්සාහ කරන්නෙ. එම තත්ත්වයට යාමය මේ ජීවිත කාලයේදී බැරිවෙයි. අංගම් ශාස්ත්‍රයේ මැද ඉන්නවා කියලා මම විස්වාස කරනවා. තවම මට අග අහුවෙලා නැහැ. මගේ තරුණ අවධිය මේ වන විට අංගම්පොර සඳහා කැපකර තිබෙනවා. අනාගතයේදීත් මේ කැප කිරීම කරනවා. අඩව් විසි එක අවසන් කලා කියන්නෙ අංගම්පොර ඉගෙනීම ආරම්භ වුණා කියලයි මම හිතන්නෙ.

* මොනවද අඩව් කියන්නෙ?

රයි අඩව්ව, රාවන්නා අඩව්ව, කාලන්ඩි අඩව්ව, අංගාර අඩව්ව වැනි අඩව් කිබෙනවා. මේවා ඇතු‍ෙළ් ගැට සෙල්ලම්, මර්මස්ථාන විද්‍යාව, කවි, අත් පහරවල්, පය පහරවල්, භාවනා දැහැන් තිබෙනවා. මම මේ සියල්ල ඉගෙන ගෙන අවසන්.

* ඔබට කී දෙනෙක් සමඟ ගහගන්න පුළුවන්ද?

කවුරු මට පහර දෙන්න ආවත් මා ගුටිකන්නෙ නැහැ. මම ගුටි කෑවොත් අවුරුදු විසි ගණනක් ඉගෙන ගත් ශාස්ත්‍රය බොරුවක් වෙනවා.

* කරාතේ හෝ ටයිකොන්ඩෝ හෝ වූෂු හෝ ජිට් කුන්ඩෝ ඉගෙනගත් ලෝක ප්‍රකට සටන් ශිල්පියෙක් සටනකට පැමිණෙන ලෙස ඔබට අභියෝග කළොත්?

මට කවුරුත් එකයි. දක්ෂයා ජයග්‍රහණය කරයි. ඕනම අභියෝගයක් මම පිළිගන්නවා. මම දන්න සටන් උපක්‍රම කීපයක් අත්හදා බලන්නත් තිබෙනවා.

* මෙරට අංගම්පොර සටන් කරුවෙකු මරාන්තික සටනකට අභියෝග කළොත්?

අංගම්පොර ශාස්ත්‍රයේ නියමය තමයි අභියෝගයක් කළොත් එය භාර ගැනීම. මම එක එක කතාන්දර කිය කියා අභියෝග මග හරින්නෙ නැහැ. හැබැයි ගෝල්ෆේස් කියන්නෙ අංගම්පොර සටන් කරන තැනක් නොවෙයි.

* ඔබේ පියා අංගම්පොර ශූරයෙක්ද?

ඔහු අංගම්පොර ශූරයෙක් නොවෙයි. හැබැයි මේ ශාස්ත්‍රය ගැඹුරට හදාරා තිබෙනව. ඔහුගෙ නම ක්ලැරන්ස් මහන්තආරච්චි. අදටත් ඔහු අංගම්පොර සටන් කරනව.

* ඔබට මාය අංගම් පුලුවන්ද?

මන්ත්‍ර ශාස්ත්‍රය මම හොදට ඉගෙන ගෙන තිබෙනවා. හැබැයි මම එයට අකමැතියි. මොකද ඒකෙන් මිනිසුන්ට දැඩි හානි කරන්න පුළුවන්. නිලයකට පහර දෙනවටත් වඩා මාය අංගම්වලින් හානි කළ හැකියි.

* ඔබට පුළුවන්ද මුළු හතර පනින්න?

මුළු හතර පැනීම අංගම් ශාස්ත්‍රයේ නැහැ. ඒක තියෙන්නෙ චීන අඩි වල. අංගම් ශාස්ත්‍රයේ පාද මාරුව සිදුවන්නෙ චක්‍රාකාරවයි. මමත් චීන අඩි යම් තරමකට චාර්ලිස් ගුරුන්නාන්සේගෙන් ඉගෙන ගෙන තිබෙනවා. එහිදී මමත් මුළු හතර පැන තිබෙනවා. චීන අඩිවලට අතීතයේ කීවෙ කුපාඩි සෙල්ලම කියලයි. ඒකට හේතුව මත්පැන් පානය කළ පුද්ගලයින් තම චන්ඩිකම් ප්‍රදර්ශනය කිරීමට චීන අඩි යොදා ගැනීමයි.

* කොරතොට අංගම්පොර සටන් පරම්පරාවට අනුව මරු නිල කීයක් තිබෙනවද?

පරම්පරාවෙන් පරම්පරාවට මරු නිල වෙනස් වන්න බැහැ. මරු නිල 108 ක් තියෙනව. මම මේ වන විට විශේෂ කාර්ය බලකායට, ගුවන් හමුදාවට, යුද හමුදාවට, ප්‍රභූ ආරක්ෂක අංශයන්ට නිල ශාස්ත්‍රයේ දැනුම යම් යම් ප්‍රමාණයෙන් ‍බෙදා දෙනවා. මම ඒවා උගන්වන්නෙ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟයි.

* ඔබ ඕනෑම කෙනෙකුට අංගම් ශාස්ත්‍රය උගන්වනවාද?

නැහැ. මේ ශාස්ත්‍රය මගෙන් ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන් සිංහල බෞද්ධයෙක් විය යුතුයි. මේක ජාතිවාදී කතාවක් නොවෙයි. මගෙ පරම්පරාවේ නියමයක්. බෞද්ධයෙක් නම් ඊළඟට කේන්ද්‍රය පරීක්ෂාකර බලා සටන් ඉගැන්වීම ගැන තීරණය කරනවා.

* ඔබේ අංගම්පොර ගුරුවරුන් කොහොමද නිල ශාස්ත්‍රය ඉගැන්වූයේ?

කුකුලගෙ බෙල්ල සමානයි මිනිසගේ බෙල්ලට, හරකගෙ පිට කොන්දෙ නිල ඉගැන්වුවා. අලියගෙත් මිනිසාට සමාන නිල ස්ථාන තිබෙනවා. කළු එළුවාගේ කිහිලිවල නිල මිනිසාගේ නිලවලට සමානයි කියලත් අපට ඉගැන්වූවා. එළුවා කොටස්වලට කපල යම් නිලයක් තද කල විට ලේ කැටියක් හිරවෙන ආකාරය මට පෙන්වා දුන්නා. මේවා මහ පුදුම දේවල්. දක්ෂ අංගම්පොර ශිල්පියෙකුට අලියෙකු වුවත් නිලවලට පහරදීමෙන් මරණයට පත් කරන්න පුළුවන්. මමත් අලි නිල පිළිබඳ හදාරා තිබෙනවා.

* මරු නිල ගැන සඳහන් පොත් පත් මොනවාද?

මගේ ළඟ විවිධ ගුරුවරුන් දුන් මරු නිල ශාස්ත්‍රය පිළිබඳ පුස්කොල පොත් තිබෙනවා. ලෙව්කේ දිසාවගේ මහා මරු නිල විද්‍යාව පොතේ සඳහන් වෙනවා එකවර කිහිපදෙනෙකුගේ මරු නිලවලට පහර දෙන අන්දම. සුළු තෙරපීමකින් මනුෂ්‍යයකු අඩපණ කරන අන්දම. පොර බැදීමකදී ප්‍රතිවාදියා අඩපණ කරන ක්‍රම.මීගස්තැන්න අධිකාරම් ලියූ මරු නිල ශාස්ත්‍රය පිළිබඳ පොතක් ගැනද සඳහන් වෙනවා.

* මරු නිලයකට පහර දීමෙන් ඇති වන හානිය ප්‍රකෘති තත්ත්වයට පත් කළ හැකිද?

පුළුවන්. බඩට ලේ බහින්න මරු නිලයකට පහර දුන්නොත් පැය හය හමාරකින් මනුෂ්‍යයකු මරණයට පත් වෙනවා. එම පහර දීම සිදු කර විනාඩි විස්සක් යාමට ප්‍රථම තවත් බෙහෙත් පහරක් ( ප්‍රකෘති තත්ත්වයට පත් කරන පහර ) එල්ල කළ විට බඩට බහින ලේ ටික පහර කෑ පුද්ගලයා විසින් වමනය කරනවා. එවිට ඔහු සුවපත් වෙනවා. අවශ්‍ය නම් මේවා කරල පෙන්වන්න පුළුවන්.

සංවාද සටහන
උපාලි කරුණාරත්න